අපර බාගයේ දී හෝ සන්ද්‍යා කාලයේ දී මද වැසි ඇති විය හැක… ?


මේ දවස් වල හිතේ කිසිම නිදහසක් නෑ… කෙළවරක් නැති ප්‍රශ්න… ප්‍රශ්න…විසඳුමක් හොයා ගන්නම බෑ. ඒ ප්‍රශ්න එහෙන්මම තියන්න ඇරලා ඕන වෙඩින් එකක් වෙන්න කියලා කාලේකට පස්සේ වාඩියට ගොඩ වෙන්න හිතුනා…
මතක ඇතිනේ පහුගිය දවසක හදිසියේම හුළඟක් ඇවිත් වෙච්ච අලකංචිය. වාඩියේ ළමයාගේ ගම්පලාතට එහෙම හරියට අලාබ හානි වෙලා තිබුනා. ගස් කඩාගෙන වැටිලා, ගෙවල් කැඩිලා, කඩාගෙන වැටුන ගස් වලට ගෙවල් වලට යට වෙලා නිරපරාදේ මිනිස්සු මැරිලා හරිම විනාසයක් තමයි වුනේ. ඒදා මුහුදු ගිය අය අතරින් සමහර අය තවම ඇවිත් නෑ… ඒ ගැනනම් දැන් ඉතින් මොනවා කරන්නද… පාංශුකුලේ දීලා හිත හදාගන්නවා ඇරෙන්න…

මෙන්න මේ වෙලාවට තමයි හිතෙන්නේ අපේ කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉන්න වගකිව යුතු අය කාළගුණ අනාවැකි කියන්නේ ඒ අයගේ ඔෆිස් එකේ ජනේලෙන් බලලාද කියලා හිතේන්නේ… හරි ලේසියි නේ… රට පුරාම ඒ අයගේ ඔෆීසි තියනවා… ඒ වගේ ජනේල තියනවා… ඒ එකකින් වට පිට බැලුවා ( හා හා හරි හාවා වගේ) කළුවර නම් වැහි වලාකුළු පිරිලා නම් “” කියලා කිවුවා… ගොඩාක්ම වැහි වලාකුළු පිරිලා නම් “ගිගුරුම් සහිත වැසි” කියලා කිවුවා. බලන කොට හොඳට අව්ව පායලා තියනවා නම් ” පැහැබර කාලගුණයක්” කියලා කිවුවා හරිම ලේසියි… ඉතින් අපිත් උදේ පාන්දර අහන “කාලගුණ අනාවැකිය “ට ගැලපෙන විදියට වැඩට යනවා, වහිනවා කිව්වොත් කුඩේකුත් අරගෙන. ඉතින් ඊටපස්සේ වෙන දේ ගැන කියන්න ඕන නෑ නේ… වහින්නෙ නෑ කිවුවොත් වහිනවා පාරවල් යට වෙන්න… ගෙදර එන්නේ දියබරියෝ වගේ තෙමිලා… වහිනවා කිවුවොත් පායනවා හොඳම එකෙන්… නිකන්වත් බස් එකක එන්න බැරිවෙලාවට තව කුඩේකුත් උස්ස ගෙන, ඉහින් කනින් දාඩිය පෙරාගෙන, ඇවිත් බලද්දි අරන් ගිය කුඩේ බස් එකේ අමතක වෙලා තමයි බැහැලා තියන්නේ.  අන්න ඒ වෙලාවට තමයි කාළගුණේලාගේ හත්මුතු පරම්පරාවම මතක් වෙන්නේ… ඒ මිනිස්සුන්ට ගානක් වත් නෑ… එහේ මිනිස්සු කඩාගෙන වැටුනු ගස්වලට ගෙවල් වලට යටවෙලා මැරිලා… මුහුදු ගිහින් අතුරුදහන් වෙලා… මෙහෙන් අපි තෙමිලා හෙම්බිරිස්සාව හැදිලා… අඩුම  ගානේ මේ කාළගුණේලා හරියට වගකීම් සහගත ප්‍රකාශයක් වත් කලේ නෑ නේ මෙච්චර දෙයක් වෙලත්… මම අහලා තියන විදියට නම් වෙන රටවල් වල වහිනවා කිවුවොත් වහිනවාමලු… ඒ විතරක් නෙවි ඒ අය වහින වෙලාවත් හරියටම කියනවාලු…. ඒ අය මුලු දවසම ප්ලැන් කරනවාලු කාළගුණ අනාවැකිය අහලා.  ඒකට අපේ රටේ නේ… අපරාදේ අහිංසක මිනිස්සුන්ගේ වටිනා කියන ජීවිත… ඇයි ඒ අයගෙන් යැපෙන අය, වන්දි විදියට ලැබෙන (අයෙකු මියගිය විට පමණක් යැපෙන්නන්ට ලැබෙන ) රුපියල් පහලොස් දහසකට දරු පවුලක් නඩත්තු කරන්න පුලුවන් දවස් කියද ?.

මේ වෙලාවේ වාඩියේ කොලුවට මතක් වුනා දවසක් ඒකට  උගන්වපු ගුරුතුමෙක් කියපු කතාවක්. මේ ගුරුතුමාට හිටියා යාළුවෙක් හැබැයි මිනිහා සුද්දෙක් ඉන්නේ ඕස්ට්‍රේලියාවේ දෙන්නාම ඒකම විශ්ව විද්‍යාලේ (ලංකවේ) උගන්වනවා. සුද්දාත් අවුරුද්දකට දෙකකට සැරයක් ලංකාවට එන නිසා මිනිහට මෙහේ හැටි ටිකක් හුරු වෙලා ඉදලා තියන්නේ. දවසක් මිනිහා කියනවාලු “උඹලාගේ රටේ ජිවත් වෙන එක මාර ඉන්ටරෙස්ටින්ග් බං , මාර හැපනින්…” ඉතින් අපේ එක්කෙනත් අහලා ඇයි එහෙම කියන්නේ කියලා…  එතකොට සුද්දා කියනවාලු ” දැන් බලපං… වෙදර් රිපොට් එකට කියනවා වහින්නේ නෑ කියලා හැබැයි වහිනවා… උදේට මිනිස්සු කොච්චියේ වැඩට එනවා… වැඩ ඇරලා හවසට ආපහු ඒ අය ස්ටේෂ්න් එකට යනවා… එතකොටයි දන්නේ උදේ වැඩකරපු කොච්චි හවස ස්ට්‍රයික් කියලා…හිටපු ගමන් ලයිට් කපනවා… කලින් කියන්නේ නෑ… නියමයි… කලින් කියන්න බෑ දැන් මොනවා වෙයිද කියල්ල අද කියන්න බෑ හෙට මොනවා වේද කියලා…  ෂික් අපේ රටේ මෙහෙම නෑ නේ… හරිම ඒකාකාරි වහිනවා කිවුවොත් වෙලාවට වහිනවා… ස්ට්‍රයික් … පවර් කට් …. ඇත්තෙම නෑ… හැමදාම කොච්චියේ යන්න පුලුවන් ඉදලා හිටලවත් කලුවරේ ඉන්න ලැබෙන්නේ නෑ… ” අපේ කෙනාට මේ කතාවට හොදටම තරහ ගිහින්… ඒත් සුද්දා යාළුවා සහතික වුනාලු ඒක නොන්ඩියට කියපු කතාවක් නෙවි ඇත්තටම මිනිහට එහෙම හිතිලා කියපු දෙයක් කියලා…

ඒ අතින් බලන කොට නම් මේ රට වගේ තවත් රටක් මේ ලෝකේ තියා මේ සක්වලේ වත් නැතුව ඇති.. ඒ කොහොම වුනත් වාඩියේ ළමයා නම් ඒකගේ රටට ආදරේ කොලුවෙක්… අනිත් උන් කරන කියන දේවල් පෙනෙද්දි ඇහෙද්දි ඒකට උගේ රටට යන කලදවස ගැන ඇතිවෙන්නේ පුදුම කලකිරිමක් වගේම දුකක්…මොනවා කරන්නද ඌත් මේ රටේ ඉන්න තවත් එකෙක් විතරක් නේ.

About වාඩියේ ළමයා

කාටවත් කරදරයක් නැතිව, වැඩි සද්ද නැතිව තමන්ගේ පාඩුවේ ඉන්න කෙනෙක්.
This entry was posted in ආගිය කතා. Bookmark the permalink.

4 Responses to අපර බාගයේ දී හෝ සන්ද්‍යා කාලයේ දී මද වැසි ඇති විය හැක… ?

  1. madu පවසයි:

    Ape gedaratath gahak paath wuna.Rajaye sewakayonta wandi denne wath naa lu.

  2. Dinushi පවසයි:

    ඇත්තටම ළමයෝ අපේ රට හරිම වාසනවන්ත රටක්..ස්වාභාවික උවදුරු බොහෝම අවම රටක්…ඒත් දැන් දැන් අපේ රටටත් ස්වාභාවික අපදා තත්ත්ව ගැන අවදානයෙන් ඉන්න වෙලා..

    මම ඉන්න රටේ ඔය ස්වාභාවික උවදුරු බොහොම වැඩියි.සුනාමි, සුලි සළං වගේම භූමි කම්පන..නමුත් ආපදා තත්ත්ව බොහෝම අවමයි.සුනාමි කියන වචනෙත් අපෙ ශබ්ධකෝශයට එන්නෙ 2004 දෙසැම්බර් 26 වෙනිදයින් පස්සෙනෙ..එදා ඉතින් ළමයලා අපි බේරුනෙත් 99න් නෙ..

    අපේ රටේ ස්වාභාවික උවදුරු අඩු හින්දමද මන්දා ඒ ගැන වගකිව යුත්තන්ගෙ අවදානය බොහෝම අඩුයි. සුනාමි වගෙ තත්ත්වයක් කලින් දැනුම් දෙන්න බැරි උනත් අපේ රටේ ස්වාභාවික උවදුරු අඩු හින්දමද මන්දා ඒ ගැන වගකිව යුත්තන්ගෙ අවදානය බොහෝම අඩුයි. සුනාමි වගේ තත්ත්වයක් කලින් දැනුම් දෙන්න බැරි උනත් සුලි සළං ගැන මේ රටේ දැනුවත් කරන්නෙ දවස් දෙක තුනකට කලින්.

    ස්වාභාවික අනතුරක් කලින් දැනුම් දෙන්න තරම් අපේ රටේ තාක්ෂණය දියුනු නැත්නම් අඩුම තරමින් ඒ වගේ දෙවල් වලදි ගන්න ඕන කරන ආරක්ශිත පියවර ගැනවත් ටිකක් දැනුවත් කලා නම්….මේ ඇතිවෙන ජීවිත හානිය වත් අවම වේවි නේද ළමයා…

    • ඇත්තටම ස්වාභාවික ආපදාවලදි කොහොමද අවශ්‍ය කරන ආරක්ෂාකාරි පියවර අරගන්නේ කියන එක ගැනනම් අපේ අයගේ තියන දැනුවත්භාවය නම් හුඟක් අඩුයි. කාලයක් තිස්සේ ඇඟට නොදැනෙන තරමේ කරදරයක් වුනේ නැති නිසාද කොහෙද, ඒත් සුනාමියෙන් පස්සේ තත්වය වෙනස් වුනා. ඒ වගේ අනතුරක් ගැනනම් ඉතින් කතා කරලා වැඩක් නෑ. ඒත් සුනාමියෙන් පස්සේ රට පුරාම වගේ ඇති වෙන්න පටන් ගත්ත ඉතාමත් කුඩා ප්‍රමාණයේ භූමි කම්පා නිසා සාමාන්‍ය ජනතාව මේවගේ ස්වාභාවික අනතුරු ගැන හොදින් දැනුවත් කරන්න දැන්වත් පටන් ගන්නවා නම් හොදයි කියලයි මට හිතෙන්නේ, “වතුර බේසම් වල කිඹුල්ලු ” බලනවා නෙවි නමුත් දැන් ඉදලම වැඩේ පටන් ගත්තනම් හොදයි කියලයි මටනම් හිතෙන්නේ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න